කුළුණු ගුණෙන් කුණු ගැන හිතමු ( රචකයා MCR හි පබ්ලික් ඩොමේන්)
'යුරෝපයේ සිට එන ඉන්දියානුවෙක් දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලින් ගොඩ බැස, මෙතෙක් තම සාක්කුවල දමාගෙන සිටි ටොපි කොල, වතුර බෝතල්වල කැප්සියුල් අදිමින් ඒ මේ අත විසිරුවමින්, කෑ කොස්සන් දෙමින්, වැසිකිලියේ වතුර විසිරුවමින්, ගුවන්තොටුපලේ වැසිකිලි හා පොදු ප්‍රදේශය අපවිත්‍ර කරමින් කුණු, නියම ඉන්දියානුවෙකු සේ හැසිරෙයි. යුරෝපයේ සිරකරගෙන සිටි ඉන්දියානු ගතිය පිටකරයි.
මෙය ඇමරිකාවේ කැලිෆෝනියාවල සිලිකන් වැලි කොම්පැනියක ඉන්දියානු ලොක්කෙක් සාදයකදී තම ඉන්දියන් සගයන් ඉදිරියේ කල උපහාසාත්මක සඳහනක්.
මේක මට මතක් වුණේ අදත් අපේ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස පරිශ්‍රයේ කුණු ප්‍රශ්නයක් ගැන කතාවුණාම. සම්පත් පියසෙ දොරටුව ආසන්නයටම කුණු ගෙනවිත් එතැන දාලා ගිහින්.
ඉතින් අර යුරෝපයේ ඉන්දියන් ජාතිකයා වගේම කුණු එකලස් කොට ගෙන ඒමේ බාහිර විනය තිබුණත්, දිල්ලියෙදි ඇතිවුණා වගේ ඇතුලාන්ත ගෝත්‍රික කම ඔළුවට ගහලා තියෙනවා ගාබේජ් හට් එක ළඟදි.
අපේ සභාපති තුමා බ්ලොගයක් ආරම්භ කරලා ඒ ගැන කල දැන්වීමට ටික වෙලාවකින් මෙම කුණු ප්‍රශ්නය පින්තූරයකින්ම පෙන්වීම මවුන්ට් ක්ලිෆර්ඩ් සමාජය කුණු සමඟ ඇති අවියෝජනීය සම්බන්ධයට උදාහරණයක්.
අපි හැමෝගෙම ඇඟ ඇතුලෙ ඉන්නෙ සතෙක්. අපට පොදු නීතිය තමයි කැලේ නීතිය (Law of Jungle) නැත්නම් ස්වභාවය ධර්මයේ නීතිය (Law of Nature). ආත්මාර්ථයෙන් පිරි දුබලයාව පාගා දමන, තම අභිලාෂයන් කෙසේ හෝ ඉටුකරගන්න සතෙක් තමයි අපි (පෘතග්ජන) සෑමදෙනා තුල ඉන්නෙ.
අපව රාමුවකට දාලා පාලනය කරන්නේ නීති, රීති හා ආගම. මෙම නීති රීති හා ආගමික හැදියාව නැත්නම් අපි ඉතින් සත්තුම තමයි. මෙහිදීත් නීතිය අපි රකින්නෙ දඬුවමට බිය නිසා. සමහර වැරදි, සත්ව ඝාතනය, හොරකම, බොරු කීම ආදී දේ නොකරන්නෙ ආගමට අනුව අපාගතවේ යයි බිය නිසා.
(නීතියෙන් කසාද බැඳීමක් නැත්නම් හා තමන්ට කැමති කෙනෙක් ඉන්න පුළුවන් කම තිබුණනම් වන තත්ත්වය නිකමට ඔබටම ආදේශ කරලා අවංකව ප්‍රක්ෂේපණය කරගන්න.)
නමුත් මේ කුණු දමන වැඩේ (මේවට නීතිත් තිබේ, ආගම් වල විශේෂයෙන් බුද්ධාගමේ සඳහනක් ඇත) නීතියට හා ආගමට යටත් නොවන රීතියක්. ඉතිං රීති කවුරුවත් ගනන් ගන්නෙ නෑ. ලංකාවේ විනය පිළිබඳව ලොකුම අවුල මේ රීතීන් පිළිබඳව නියාමනයක්, වගවීමක් නැතිකම.
පාරෙ ඇවිදිනවිට, වාහන පැදවීමේදී, පාසැලේදී, කාර්‍යාලවලදී, කඩසාප්පුවලදී අප ගරුකරන රීති, ආචාර ධර්ම පවත්වාගෙන යනවාද?
අනික, වටාපිටාව අනුව අපේ අනුවර්තනය අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. ඒක ඒ පරිසරයත් එක්ක අනුගතවුනාම ඉබේම් දැනෙන ඉන්ද්‍රියගෝචරයක්. ඒක ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන නැහැ.
අපේ පිළිවෙළ අපිටත් අනිකාටත්, ලේසි හා පහසුවිය යුතුයි. එම පිළිවෙලෙහි යෙදීම තමන්ගේ යහපත් ගති ලක්ෂණ ප්‍රකට කරවන සේම එම පිළිවෙලට දිගින් දිගටම අකුල්හෙලීම හා කඩාකප්පල් කිරීම ගර්හාවට හා අපවාදයට ලක් වියයුතුයි.
පරිසරයක් ලස්සන වන්නේ හා එය සුවදායක වන්නේ අපි එයට ගෙවන මිලටවත්, එහි නිවැසියන්ගේ මහන්තත්ත කම නිසාවත් නෙවෙයි, අපි කෙතෙක් එකිනෙකා කෙරෙහි ගෞරවය දක්වනවාද හා පොදු කටයුතු වලදී අපගේ භූමිකාව මතයි.
ඔබගේ නිවසේ පර්සියානු බුමුතුරුණු තිබෙන්නට පුළුවන්, නමුත් ඔබ නිවසට එන්නේ ඉඳුල් විසිරුණු තණ පලස මතින් නම් ඒක මහා නොගැලපීමක් නේද?
අස්ප ඉස්තාලයක් මනරම් නිවසක් කල සුනේත්‍රාගේ කතාව දෙසට මොහොතකට හැරෙමු.
හොරගොල්ල වලව්වෙ අශ්වයො හිටි ඉස්තාලය (horse stable) සුනේත්‍රා බණ්ඩාරනායක හා ජෙෆ්රි බාවාගේ සංකල්පනාත්මක සම්මිශ්‍රණයෙන් මනරම් නිවසක් බවට පත්වූ අපූරුව බලන්න.
අපේ මනරම් හා මනාලෙස සැලසුම් කරනලද මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස (yes, this is a purpose built housing scheme) කිහිපදෙනෙක් නිසා ගව ගාලක් වන හැටි මේ කතාව හා සසඳන්න. එය උඩ කතාවේ විලෝමය නොවේද?
ඕනම වෙනසකට පරිකල්පනීය යෙදවුම් (insightful inputs) බලපානවා. 1972දී වයස අවුරුදු 27ක් වූ සුනේත්‍රා කෙල්ලට තමාගේ මවගේ වයසේ ජෙෆ්රි සමඟ මෙම අස්සගාල ගැන මූලික කතිකාව Architectural Digest සඟරාව විස්තර කරන්නේ මෙහෙමයි.
"දෙදෙනා හමුවූ විට, විස්කි බෝතලයක් කැඩෙයි. සිගරැට් පත්තුවෙයි. ගොඩනැගිලි ගැන කතා බෝ වෙයි."
මෙම මහා පරිකල්පනයත් එක්ක MCRහි වෙසෙන සමහරකෙනෙකුගේ ලාමක චින්තනය ගලපා බලන්න.
සුනේත්‍රා දැන් හිතන්නේ මෙහෙමයි
"දැන් මාගේ මිතුරා බාවා නික්ම ගොස්ය. මම සිතන්නේ මේ අවකාශය ඔහු පිළිබඳ මහාර්ඝ මතකයන් ලෙසය. බාවාගේ හැකියාව, බුද්ධිය සහ පරිකල්පනය ලියැවුණු ගඩොළු සහ හුණු බදාම, උද්‍යාන අවකාශය, මේ සියල්ල එකතු වුණු තැන මම කියන්නේ 'නිවහන' කියාය."
අපි සැවොම අපේ මවුන්ට් ක්ලිෆර්ඩ් එකමුතුවේ මෙහෙවර අභ්‍යාස කොට එහි දැක්ම වෙත පානගමු.
*අපගේ මෙහෙවර*
එකිනෙකාට ගරුකරමින්, එකිනෙකාව ඉවසමින්, සහජීවනයෙන්, අප අවට පරිසරය රකිමින්, ගුණ කරුක, විනයගරුක, නොබිඳෙන, නොනවතින හා පවතින අසල්වැසි සක්‍රීය සබඳතාවන් පවත්වාගැනීම.
*අපගේ දැක්ම*
ලංකාවේ හොඳම අසල්වැසි සබඳතාවන් සහිත ආදර්ශමත් නේවාසික පරිශ්‍රය ලෙස අන් අය විසින් අපව හැඳින්වීම.
-පබ්ලික් ඩොමේන්
හොදට ලියල තියනවා ජය වේවා දිගටම ලියනන අයියා
ReplyDeleteCongratulations .Good effort
ReplyDeleteStrongly critical with sharp words, enlightening views.
ReplyDeleteSuggest better to have a lighter tone.
Strongly critical with sharp words, enlightening views.
ReplyDeleteSuggest better to have a lighter tone.